Monday, January 19, 2015

පළමු පරිච්ඡේදය - හිම බන්ධනය CHAPTER1 - ICE BOUND

මේ කතන්දරය පටන් ගන්නේ ආක්ටික් වෘත්තයෙන් උතුරට වන්නට පිහිටි , මැදියම් රැයේත් හිරු පායන දේශයට අයිති, හිම මිදුනු සාගරයක. කපිතාන් වෝල්ටන් දේශ ගවේශකයෙක්.මෙය සිදු වූ දින ඔහු නැව් තට්ටුවේ සිට ඉදිරිය පිරික්සමින් සිටියේය. ඔහු ප්‍රශ්වාස කළ වාතය දුම් වළාවක් ලෙස ඉහල නැගිණ. ඒ හරහා ඔහුට පෙනුනේ කලු වන් ජලය පිරුණු පටු ඇළ මාර්ගයක්.සීතල නිසා වෙවුලන්නට වූ ඔහු, සිය ඝන ලොමින් වියූ පිටකබායේ හිස් වැසුම ලා ගත්තේය. අනතුරුව නැව් තට්ටුව මත තදින් අඩි හප්පා ඇඟ රත් කර ගත්තේය.අහස් කුසින් බැස යන පඬුවන් හිරු නැවතත් ඔහුට දිස් විය.ඔහු නැවත මුහුදේ වූ පටු ඇළ මාර්ගය දෙස බැලීය. එය එන්ට එන්ටම පටු වෙයි.මීදුම් වළා රැගත් සුළඟක් ඔහු පසු කර ගියේය.මීදුමත් සමඟ හිම කැටි පොකුරක් ඇදී ආයේය.සැඳෑ අහසේ වූ එලිය මීදුම් බර අඳුරකට හැරුණි.

ඔහු පැකිලෙමින් රොස්ටොප් වෙත හැරුණේය. ඔහු තමා , කපිතාන්ගේ ප්‍රධාන සගයා.

"අපට සිදු වේවි නැංගුරම් බාන්න" කීය , ඔහු. " දැන්ම මිනිසුන්ට අණ දෙන්න.මේ වගේ තත්වයක් යටතේ යාත්‍රා කරන්න බැහැ." දේහධාරියකු වූ රොස්ටොප්ද , මුලින් ඔහුගේ අදහසට මැලි වූ නමුත් , පසුවා දෙවුර උස්සා එකඟතාව පෑවේය.

"හොඳයි කැප්ටන්"

වෝල්ටන්ගේ කුඩා නෞකාව `මාග්‍රට් සැවිල්` දැනට සති ගණනක් තිස්සේ, උතුරු ද්‍රැවය කරා යාත්‍රා කරමින් තිබුනේය. ඔවුන්ගේ දවසක් ගතහොත් ඉන් වැඩිවෙලාවක් නිරන්තර සන්ධ්‍යාලෝකයෙන් යුක්ත විය.එහෙත් තව සති කීපයකින්, මාස හයක් පුරාවට පවතින අන්ධකාරය එළැඹේවි.

වෝල්ටන් නැවත වෙව්ලීය. ඔවුන්ගේ නැව හිම මිදීමකට අසු වූවානම්, එම සිසිර මාස කීපය ජීවත්වන්නට සෑහෙන කෑම, ඉන්ධන ඔවුන් සතු විය. ඔහුගේ කැමැත්ත කුමක් වුවත් , කාලගුනය තවත් නරක අතට හැරුනොත් ඔහුට " මාග්‍රට් සැවිල්" නැවත දකුනට හරවන්ට සිදුවේවි.බාගවිට ඊලඟ අවුරුද්දේ තවත් ගවේශන චාරිකාවක් එන්නට හැකි වේවි.ඒත් ඊට වුවමනා තරම් ප්‍රාග්ධනයක් තමන් සතුදැයි ඔහුට සැක සහිත විය.දෑත්වල අඟිලි තුඩු පටලාගත් ඔහු , ඝන මීදුමත් , දඟරාකාරව වැටෙන හිම කැරලි දෙසත් බලා සිටියේය.සිය යාත්‍රාව මත වැටුණු වහාම මේ හිම කැටි අතුරුදන් වේවායි ඔහු සිතින් යැද්දේය.

ඉවතට හැරුණු රොස්ටොප්, නැවත හැරුණේය.

"ඔබට ඇහුණද කැප්ටන් ?"

"මොකක් ද?" රොස්ටොප් අවිනිශ්චිත ලෙස අන්ධකාරය වෙත අත දිගු කලේය.

"අර පැත්තෙන් " කීය , ඔහු." සීනු හඬක්. හිම කරත්ත අදින බල්ලන්ගේ"

වෝල්ටන් ප්‍රවේසමින් සවන්දුන්නේය. පළමුව කිසිවක් නෑසිණ. ඒත් මොහොතකින් නොපැහැදිලි හඬක් ඔහුට ඇසෙන්නට විය. සිවුරුහන් නගමින් පැමිණි සුළං කැරැල්ලක් මීදුම හා හිම පතනය ඉවත් කළේය. ඈතින් සුදු පැහැ අයිස් තලය දිගේ ඇදී යන කළු පැහැ රුවක් ඔහු නෙත ගැටුනේය.

 " ඉක්මනට රොස්ටෙප්" ඔහු කීය." දෙන්න මට , දුරදක්නය"

හිමවාසී සුනඛ කණ්ඩායමක් විසින් ඇදගෙන යන හිමයානයක්. දුරදක්නයෙන් දිස් වූයේ එයයි. සුනඛයන් උසිගන්වනු පිණිස හිමයානය පැදවූ මිනිසා කස පහර දෙන්නට විය.

" ඒ යෝධයෙක්" ඔහු තැතිගත්තේය. "ඔබටත් වඩා ලොකුයි රොස්ටෙප්. මෙන්න බලන්න" ඔහු දුරදක්නය සගයා අතට දුන්නේය. ඉන්පසු ඔහු සිය අත්වැසුමේ පිටිඅල්ලෙන් සිය රැවුල පිරිමැද්දේ එහි වූ අයිස් කැබලි ඉවත් කරන්නටයි. දුරදක්නයෙන් බැලූ ඔහුගේ සගයා කිසිත් කීවේ නැත. ඔහුගේ මුවින් ඉබේම පිඹින හඬක් පිටවිය.

" ඒ වගේ තවත් උදවිය මේ හිම කතරේ නැතිවේවි කියල ප්‍රාර්ථනා කරමු." වෝල්ටන් කීවේ සිය කටහඬ සන්සුන් කරගන්නට උත්සහ කරමින්." බැරි වෙලාවත් තවත් උන් හිටියොත් , කොහොම හිටීවිද රොස්ටොප්"

" ඔහු අපව රෑ කෑමටත් ගන්න බැරි නැහැ" නාවුකයා කීය.

මීදුම සහ හිම කුණාටුව නැවත පටන් ගත්තේය. නැවේ නැංගුරම ලූ පසුව, වෝල්ටන් විසින් සන්ධ්‍යා භෝජනය ගෙනෙන්ට අණ කෙළේය. ආහාරයත් සමග රම් ගෙන එන ලදි. කෑමෙන් සප්පායම් වූ කපිතාන් තැන සහ නාවුක පිරිස සිය ඇඳන් කරා ගියහ. වැතිරී නිදන්නට වෑයම් කළ ඔවුනට අයිස් පිපිරෙන ශබ්ද නිරතුරු ඇසුණි.

වෝල්ටන් යළිත් පිබිදුනේ කෑමොර දෙන හඬකින්. අඳුරේ තම ඇඳුම් පැලඳුම් සොයන අතරේ , ඔවුන් කුමක් කියා කෑ ගසත්දැයි අසා තේරුම් ගන්නට ඔහු උත්සහ කළේය. ඒත් , නැව් තට්ටුවට නැඟ, සියැසින් දකින තුරුම, ඔවුන් කුමක් නිසා මුර දුන්නේදැයි ඔහුට නොවැටහිණ. නාවිකයන් දෙතුන් දෙනෙක් නැවේ ගරාදි වැටෙන් එබෙමින් සිටියෝය. ඔවුහු කාටදෝ හඬ ගසමින් සිටියහ. ඔහු ද යුහුව ගොස් ඔවුනට එක් විය.මේ වනවිට හිමවරුසාව තුරල් වී තිබුණි. මාග්‍රට් සැවිල් වටා වූ අයිස් තට්ටුව ද, කැඩී ගොස් තිබුණි. තවම නැංගුරම් ලා තිබූ නැව, නිසල දිය තලාව මත උස් පාත් විය.වෝල්ටන් නිදා සිටි අතරතුර , අයිස් තලය කැඩී බිඳී ගිය සෙයක් දිස් විය. ඈතින් හිමෙන් තැනුණු වෙරළක් දිස් විය.

නෞකාවත් , වෙරළත් අතර වූයේ , පාවෙන අයිස් දූවකි. එහි මිනිසකු සිටියේ , බල්ලන් විසින් අදින හිමයානාවක්ද සමඟිනි.

ඔහු නැව දෙස බලාගෙන, දෑත් ඔසවා යමක් කියමින් සිටියේය. ඔහු වටා විසිර තිබුනේ සුනඛ රංචුවේ දරදඬු සිරුරුයි. උන්ගෙන් එකකුට පමණක් යන්තම් පණ තිබුනි. මොහොතකට, නැව්පතියාට සිතුණේ මේ පෙරදා රැයේ දුරදක්නයෙන් දුටු යෝධයා කියාය. ඒත් මොහු එසේ නොව, සාමාන්‍ය කුඩා මිනිසකු බව ඔහුට වැටහුණේය. ඒ මිනිසා වෝල්ටන්ට නොතේරෙන යම් බසකින් කෑ ගසමින් සිටියේය.

" ඔහු මොකක්ද කියන්නේ ? " වෝල්ටන් තමන් අසල සිටි සේවකයාගෙන් විමසීය. " ඔබට තේරෙනවද?"

" ඔහුට වුවමනායි දැනගන්න අපි යන්නේ කොයි පැත්තටද කියල. උතුරටද , දකුණටද?"

"හොඳයි. ඉතින් කොහොමද මේ වගේ කාලගුණයක් එක්ක ඒක තීරණය කරන්නෙ." කීය, වෝල්ටන්. "ඒත් මං හිතනවා , උතුරු දිසාව බලා යන එක හොඳයි කියල. ඔහුට ඒ බව කියන්න"

සේවකයා හොඳින් හඬ පිටවනු වස්, දෑතින් මුව ආවරණය කරගෙන, නොපැහැදිලි වචන පෙළක් කීවේය. එය ජර්මන් බස යැයි වෝල්ටන්ට අනුමාන කළ හැකි විය. එහෙත්, හුදෙකලා මිනිසා ඊට දුන් පිළිතුර නම් ඔහුට කදිමට වැටහිණ. ඒ ඔහු කතා කලේ ඉංග්‍රීසි බසින් නිසයි. ඔහු බස උසුරුවේ නම් නුපුරුදු විලාසයකිනි.

" ඔබේ කපිතාන්" අමුත්ත කෑගෑවේය. " ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක්ද?"

"ඔව්" වෝල්ටන් පෙරළා කෑගැසීය. " මම ඉංග්‍රීසි" දිය සුළියක් විසිම් අයිස් දූපත, මාග්‍රට් සැවිල් වෙත ළං කරන ලදි.

" ඔබ යාත්‍රා කරන්නේ උතුරට නම්" අමුත්තා කීවේය. "දෙවියන්ගේ නාමයෙන් මාවත් ඔය නැවට නග්ග ගන්න"

නාවික පිරිස මහත් ආයාසයක් දරා, අමුත්තාව ගරාදි වැට මත්තෙන් ඔසවා , නැව් තට්ටුවට ගත්තෝය. රොස්ටොප් පණ අදිමින් සිටි බලු පැටියාවද බේරා ගත්තේය. ඔහු උගේ නළල පිරිමැද, කන්වලින් අදින විට ඌ කෘතගුණ පූර්වක කෙඳිරිල්ලක් නැඟුවේය.

"ඉක්මනට" වෝල්ටන් අණ කෙළේය. " මේ අසරණයාව පහළට ගෙනියන්න.මගේ ඇඳේ හාන්සි කරවන්න. ඔහුට දෙන්න සුප් ටිකකුත් රත් කරන්න".


සතර ගාතයෙන් නැව් තට්ටුවේ වැතිර සිටි අමුත්තා වෝල්ටන් දෙස බැලීය. ඔහුට වූයේ පෙර නොදුටු විරූ විඩාබර දෑසකි. එහෙත් එම දෙනෙතේ දැල්වෙන කෝපාග්නියක සේයාවක්ද විය.

" ඔබ කරුණාවන්තයි" මිනිසා කීයේ මදක් නුහුරු ඉංග්‍රීසි බසිනි. වෝල්ටන් සහ ඔහුගේ පිරිස මෙන්ම, මෙම අමුත්තා ද ලෝම කබායකින් සැරසී සිටියේය. " මම දවස් ගණනකින් කාලා නැහැ. මගේ බල්ලන් මැරුණාම මමත් .........." ඔහු කතාව නැවැත්වීය. ඉකිබිඳින හඬකි, ඉනික්බිති වෝල්ටන්ට ඇසුණේ.

"ඔබට හිමිවෙනවා වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ස්තූතිය" මඳක් වේලා සිටි මිනිසා කීයේය. රොස්ටෙප් ඔහුගේ ඇඟ වටා බ්ලැන්කෙට්ටුවක් පොරොවා ඔහුව ඔසවා ගත්තේය.

"ඔව්. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ස්තූතිය." රොස්ටෙප් විසින් ඔහුව කපිතාන්ගේ කුටිය වෙත ගෙන යන විටදී ඔහු යළිදු කීවේය. බල්ලා ද ඔවුන් පිටිපසින් දිව ආවේය. වෝල්ටන් නැවතී මුහුද දෙස බැලීය. හිම තලාවන් අතර වූ හිදැස නැවතත් පටුවන්නට පටන්ගෙන තිබිණ.


 " මට කතාවක් කියන්න තියෙනවා" රොස්ටොප් විසින් බ්ලැන්කෙට්ටුව පොරවත්දී ෆ්‍රැන්කන්ස්ටයින් ඔහුට කීය." මම මැරෙන්න කලින් ඒ කතාව කියන්න ඕනෑ."

"එය කදිම කතාවක් බව මට සහතිකයි" රොස්ටොප් සිය දරදඬු හඬ හැකිතරම් ළයාන්විත කරමින් කීවේය. " ඒත් අපි උදේ වෙනකම් ඉඳිමු නේද?"

අමුත්තා ඔහුගේ අත දැඩිව ග්‍රහණය කෙළේය. " බැහැ. ඔබට තේරෙන්නෙ නැහැ. මම මේ කතාව කිව යුතුමයි. "

රොස්ටොප්ගේ මනාව වැඩුණු ඇහිබැමි . ඉහලට එසැවිණ.

"මා ළඟත් තියෙනවා අපූරු කතන්දර ඔබට ඔනි නම්" ඔහු කීය. " ඒත් ඒවා අහන්ට ඔබ කැමති වේ යැයි මා හිතන්නේ නැහැ. උදාහරණයකට"

" කරුණාකර " ෆ්‍රැන්කන්ස්ටයින් අයැද සිටියේය. " මා ළඟින් අසුන් ගෙන මට සවන් දෙන්න"

" ඒ මිනිහාට කතා කරන්න ඉඩ දෙන්න. " කුටියේ දොර අසල සිට වෝල්ටන් කීයේය. ඔහුගේ දෙවැන්නා අප්‍රසාදයෙන් ගෙරවීය.

" ඔක්කොටම ! මම මේ කතාව ඔබලා ඔක්කොටම කියන්න ඕනෑ"

වෝල්ටන් දෙවුර හැකිලුවේය. ඒ මොහොතේ කරන්ට වෙනත් බාරදූර රජකරියකුත් නැත.බාග විට එය අපූරු කතාවක් වන්නට පුළුවනි. ඔහු හැරී, නැවේ අනික් මිනිසුන්ටද පහළට එන මෙන් සන් කෙළේය.

සියළුම දෙනාගෙන් පිරුණු නෞපති කුටියේ, එතරම් සුවදායක බවක් නොවිණි. එහෙත් ඒ වගක් අමතක වන්නට මිනිත්තු කීපයකි, ගතවුණේ. ඒ අමුත්තාගේ අපූරු කතන්දරය නිසයි.

" මම ගෙදරින් නික්මෙලා ගියා, ඉන්ගොල්ස්ටැඩ් සරසවියේ ඉගෙන ගන්න." ඔහු කතාව ඇරඹීය. " මගේ ආදණීය එලිසබෙත් , මට ප්‍රවේසම් වන මෙන් පැවසුවා මතකයි".

හෝරා කීපයකට පසු, ඔහු නින්දට වැටුණේ, කතන්දරය අඩක් කියා තිබියදීය. ඔහු ළඟින් ඉවත්ව නැව් තට්ටුවට වන්, නාවික පිරිසට දක්නට ලැබුණේ මාග්‍රට් සැවිල් වටා හිම මිදී ඇති අයුරුය.

No comments:

Post a Comment